Tuesday, March 31, 2015

ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකලා


පිටසක්වල ජීවීන් පිළිබඳව මෙන්ම ඔවුන් සැබැවින් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. 

තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට පර්යේෂකයින් අසමත් වී තිබෙනවා. 

නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිබෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දර්ශනය වූ බවයි.

ඔහු විනාඩියයි තප්පර 7ක් පමණ දර්ශනය වූ බවත් අඩි 9ක් පමණ උසින් යුක්ත බවත් ඔහු සඳහන් කර තිබෙනවා.  ක්ලාර්ක් මැක්ලන් වන මොහු සමඟ තවත් සහයකයෙකු මෙම අභ්‍යාවකාශ ගමනේ යෙදී ඇති අතර ඔවුන් අසලට මෙම පිටසක්වල ජීවියා පැමිණි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

Monday, March 30, 2015

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සූදානමක්


ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා.

කොළොම්බියාව කියන්නේ ලතින් ඇමෙරිකාවේ පළමු රාජ්‍ය වන අතර එය නව අන්තර්ජාල සේවා : (Internet.org Service) ලැබුණු සිව්වැනි රාජ්‍යයයි. සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප‍්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි.

මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි.

මෙම ඇප් එක දැනටමත් සැම්බියාව ඇතුළු අප‍්‍රිකානු රටවල් 3කටත් හදුන්වා දී ඇති බවයි.මාර්ක් සකර්බර්ග් පවසන්නේ,වෙබ් අඩවි වෙත පිවිසීම,කාලගුණ තොරතුරු,සෞඛ්‍ය,ප‍්‍රවෘත්ති ආදී වෙබ් අඩවි වෙත කිසිදු අයකිරීමකින් තොරව පිවිසීමේ හැකියාව මෙමගින් අත්කරදීම ඔහුගේ පළමු උත්සාහයයි.කාලයක් ගතවන විට එමගින් තව බොහෝදේ නොමිලේ ලැබේවි කියලත් ඔහු පවසා තිබෙනවා.ඇප් එකක් නිසා මෙය ජංගම දුරකථන භාවිත කරන්නන් අතරේ වැඩි ප‍්‍රසිද්ධියක් උසුලනවා මෙන්ම වේගයෙන් පැතිරෙන බවත් සකර්බර්ග් පවසනවා.

30 හැවිරිදි ලොව බිලියනපතියන්ගෙන් කෙනෙක් වන මාර්ක් සකර්බර්ග් තරමක් නිහඩ.එහෙත් බොහොම අසන්නෙක් ලෙසත් ප‍්‍රකට සමාගම් ප‍්‍රධානියෙක්.ඔහු යමක් පවසන්නේ ඉතා අඩුවෙන් වුවත් පවසන දේ ක‍්‍රියාවට නැංවීමට නොපසුබට වන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා.ඉතින් මේ ගැනත් යම් අපේක්ෂාවක් තබාගන්නට අපට පුළුවන් නිසා මෙම ඇප් එකෙන් ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල අයටත් අන්තර්ජාලය නොමිලේ ලැබෙන්නට ඉඩ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ internet.org වැඩසටහන ලෙසයි. පසුගිය 14 වැනි බදාදා දිනයේදී මේ පිළිබද සකර්බර්ග් මාධ්‍ය වෙත හෙලිදරව් කරන විටත් ඔහු පවසන ආකාරයට මේ වසර අවසන් වනවිට ලොව බොහොමයක් නොදියුණු රටවල් මෙම ඇප් එක භාවිත කරන්නට පටන් අරන් තිබේවි කියලයි ඔහු පවසන්නේ.

කොහොම නමුත් ලෝකයම ආවරණය කළත් මෙම ඇප් එක චීනයේදී නම භාවිත නොවේවි කියලත් ඔහු අගවා තිබෙනවා.චීනයේ ප‍්‍රමුඛ ස්මාර්ට් ෆොන් නිෂ්පාදන සමාගමක් වන Xiaomi ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා හා සකර්බර්ග් අතර සාකච්ඡවක් පසුගියදා පැවැත්වුණු බවට ආරංචි වුණා.එහිදී Xiaomi ආයතනයේ ප‍්‍රධානියා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය චීනයේ ක‍්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ප‍්‍රාග්ධනයක් යෙදවීමට කැමති බවයි.නමුත් සකර්බර්ග් ඊට සිය අකමැත්ත ප‍්‍රකාශ කළ නිසා මේ ව්‍යාපෘතිය චීනයේදී අවලංගු වෙන්න පුළුවන්ලූ.සකර්බර්ග් ඒ සාකච්ඡව ගැන කියන්නේ මෙවැන්නක්.‘මම කියන්නේ නෑ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමැති කිසිදු පාර්ශ්වයක් විසින් කැමැත්ත පළකළ දේ ගැන.නමුත් මට කියන්න පුළුවන් ලොව පුරා හැම රටකම ඉන්න නෑදෑයන් (රටවල් අතර සබදතා) සමග අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.එපමණයි.සකර්බර්ග් කවදාවත් එවැනි ගිවිසුමකට යටත් නොවන බවට ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.ඒ නිසා එම ගිවිසුම කිසි දවසක යථාර්ථ යක් බවට පත්වෙන්නේ නෑලූ.

ඒ අදාළ දුරකථන නිෂ්පාදන සමාගම් විසින් මෙම ඇප් එක ඔවුන්ගේ නිෂ්පාදන තුළ පමණක් සීමා කිරීමේ.සුපිරි නිෂ්පාදන තුළට පමණක් යෙදිය හැකි බාධක පැමිණවීම වැනි කරුණු නිසා වෙන්නටත් පුළුවන්.

මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග‍්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා.

(චන්න ජයවික්‍රම) 2015.02.03
- උපුටා ගැනීමකි -

නොමිලේ WI-FI අද සිට නොමිලේ දෙන්නේ මෙම තැන්වලදී



යහපාලන ආන්ඩුව විසින් අද දිනයේ සිට රට පුරා ස්ථාන රැසකදී නොමාලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් ලබා දීමට සූදානම් කර තිබේ.

කොටුව දුම්රියපලේදී ඇගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩපිලිවෙල අද ආරම්භ කෙරෙයි.

ඒ අනුව නොමිලේ මෙම පහසුකම ලබාගත හැකි ප‍්‍රදේශ මෙසේය.


* කොළඹ කොටුව දුම්රිය ස්ථානය
* පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ
* පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ
* ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය
* නීති විද්‍යාලය
* කොළඹ මහජන පුස්තකාලය
* තුරඟ තරග පිටිය
* පොලිස් මූලස්ථානය
* ගාලු මුව දොර ක්‍රීඩාංගණය
* බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය
* කොළඹ ජාතික කෞතුකාගාරය
* දෙහිවල සත්තු වත්ත
* පොළොන්නරුව දුම්රිය ස්ථානය
* පොළොන්නරුව මූලික රෝහල
* මාතර දුම්රිය ස්ථානය
* මාතර බස් නැවතුම් පොළ
* ගාල්ල කරාපිටිය මූලික රෝහල
* ගාල්ල දුම්රිය ස්ථානය
* හම්බන්තොට උද්භිත උද්‍යානය
* යාපනය දුම්රිය ස්ථානය
* යාපනය මහජන පුස්තකාලය
* මහනුවර දළදා මාළිගාව
* මහනුවර දුම්රිය ස්ථානය
* පේරාදෙණිය දුම්රිය ස්ථානය
* රත්නපුරය ජාතික කෞතුකාගාරය

චැනල් 4 අළුත් සෙල්ලම තිඹිරිගස්යායේ


ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරමින් සංස්කරණය කරමින් පැවැති වීඩියෝව පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය විසින් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.
ඒ අත්අඩංගුවට ගනු ලැබූ සංයුක්ත තැටි සහ අනෙකුත් තාක්ෂණික උපකරණ හරහායි.
ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් තිබියදීයි පොලිසිය විසින් සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඒ අතරට දමිල ජාතිකයින් 5 ක් හා සිංහල ජාතිකයින් තිදෙනෙක් ඇතුලත්.
මේ අතරට උතුරේ පදිංචිකරුවන් කිහිප දෙනකුද වන බවයි හෙලිව ඇත්තේ.
ඔවුන් විසින් චැනල් ෆෝ නාලිකාවේ නෝ ෆයර් සෝන් හා කිලින් ෆීල්ඩ් වීඩියෝ පට ස්වරූපයෙන් මෙම වීඩියෝව නිර්මාණය කිරීමට උත්සාහ දරා තිබෙනවා.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ මතයක් ඇති කිරීමේ අරමුනින් එය න්ර්මාණය කරන්නට ඇති බවටද සැක මතුව තිබෙනවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

බොලිවුඩ් නළු අමීර් ඛාන් රෙස්ලින් පිටියට


සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමීර් ඛාන් රෙස්ලින් පිටියට අවතීර්ණ වී තිබෙනවා. ඒ ඔහුගේ නවතම සිනමා පටය වන ඩන්ගල් සිනමා නිර්මාණය වෙනුවෙනුයි. එම සිනමා පටයේ අමීර් ඛාන් රෙස්ලින් සටන්කාමියෙක් ලෙස රංගනයෙන් දායක වනවා.‍මීට පෙර ඔහු රංගනයෙන් දායකවූ පී කේ සිනමා පටයේ දී සැහැල්ලු රංගනයක නිරතවුවද මෙම සිනමා පටයේදී ඔහුට සටන් කිහිපයකටම පෙනී සිටීමට සිදුවනවා. ඒ නිසාම තමන්ගේ බර කිලෝ 22 කින් වර්ධනය කර ගැනීම නිසාම ඔහුගේ කඩවසම් බවට හානි සිදුවඇති බවයි බොලිවුඩ් වාර්තා පවසන්නේ. වයස අවුරැදු 55 ක සටන්කාමියෙක්ගේ චරිතය ඔහු මැනවින් නිරෑපනය කරනු ඇති බවත් එම වාර්තාවල සදහන්.‍කොහොම වුනත් අමීර්ගේ අධික ස්ථූලතාවය ඔහුට ගැටළු රැසක් ඇති කල හැකි බවත් බොලිවුඩ් රසිකයන් අන්තර්ජාල මත විමසුමකට එක්වෙමින් සදහන් කර තිබෙනවා.
aamir-khan-300320151

මෙහෙම ගියොත් තව අවුරුදු 50කින්වත් ලෝක කුසලානයක් දිනන්න බෑ..


ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යහපාලනය සහ සුපිළිපන්න බව නැවත ස්ථාපිත කිරීම සඳහා ක‍්‍රිකට් පරිපාලනයට පැමිණෙන්නැයි ක‍්‍රීඩා සහ පුරවැසි සංවිධාන ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය, සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය, සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ‍්‍රී ලංකා සංවිධාන වෙනුවෙන් ජාතික නිදහස් ක‍්‍රීඩා පදනම අර්ජුන රණතුංග අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ දියාරු අතුරු කමිටු ප‍්‍රතික්ෂේප කර ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා නායකත්වය ලබා දෙන ලෙයසි.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දැරීම නිසා නොව, ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් එකම ක‍්‍රිකට් නායකයා වීම හේතුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් එම ඉල්ලීම සහ ආරධනාව සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.

එම සම්පුර්ණ ලේඛණය මෙසේය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක,
ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමනි,


ජාතික නිදහස් ක්‍රීඩා පදනම සහ සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා (Save the sports in Sri Lanka) මෙරට ක්‍රීඩාවේ අභිවෘර්ධිය සඳහා පෙනී සිටින ස්වේච්ඡා සංවිධාන දෙකකි. 

හිටපු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩා වෘත්තිකයින් සහ ක්‍රීඩා ලෝලීන් එක්ව පිහිටුවා ගත් මෙම සංවිධාන දෙකේ මූලික අරමුණ වනුයේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා බලපෑම් කණ්ඩායමක් ලෙස සාධනීව පෙනී සිටීමයි. යහපාලනය සහ සුපිළිපන්න බව සුරක්ෂිත කරන ක්‍රීඩා සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ බිහිවනු දැකීමද අපගේ අපේක්ෂාව වේ. 

සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය සමඟද අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන අපගේ තේමා පාඨය වන්නේ “ක්‍රීඩාවේ අනාගතය පැහැබරයි….” යන්නයි. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ඔබතුමාට මෙම ලිපිය ලියන්නේද එම තේමා පාඨය පදනම් කර ගනිමිනි.

2014 දෙසැම්බර් පළමුවැනිදා, ඔබතුමාගේ උපන්දිනය දා, යහපාලනය පදනම් වූවත්මන් ආණුඩුව පිහිටුවීම සඳහා ඔබතුමාගේ සහාය නිල වශයෙන් හිමි වූ දිනයයි. එදින කොළඹ විහාර මහාදේවී උද්‍යානයට පැමිණි ඔබතුමා නව රටක් බිහි කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කරන විට අපි දැඩි සේ සන්තෝෂයට පත් වුණෙමු. 

නව ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යධුරය භාර ගෙන ක්‍රීඩාව නව මඟකට යොමු කරනු ඇතැයිද අපි එදා අපේක්ෂා කළෙමු. එහෙත් එකී අපේක්ෂාව ඉටු වූයේ නැත. ඊටත් වඩා වැදගත් වූ ජාතික වගකීමක් ඔබතුමාට පැවරිණ. වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස එම වගකීම ඉටු කිරීමේදී ඔබතුමාට ක්‍රීඩාව කෙරෙහිද වෙනදා මෙන් අවධානය යොමු කිරීම කාලය නැති බවද අපි දනිමු. 

එහෙත් අදටත් අප විශ්වාස කරන්නේ ක්‍රීඩාව, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශානතියට යොමු කිරීම උදෙසා ඔබතුමාගේ සක්‍රීය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. අවම වශයෙන් ක්‍රිකට් පරිපාලනයට හෝ පිවිසෙන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාවේ සිව්වැනි ආගමයි. 1996 වසරේදී ඔබතුමා නායකත්වය දුන් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය උදා විය. ඒ සඳහා පුරෝගාමී මෙහෙයවරක් ඉටු කළ ඔබතුමාට ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අයිතිය අවිවාදිතය. 

එහෙත් පසුගිය ආණ්ඩු සමයේදී දේශපාලන මැදිහත්වීම් සහ දේශපාලන බලහත්කාරය මත නුසුදුසු පුද්ගලයින් සහ හෙංචයියන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවලට පැමිණි බව ඔබතුමාටත් අපටත් රහසක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සඳහා කළුකඩ මුදලාලිවරුන් පිවිසියේද එකී දේශපාලන ආශිර්වාදයේ පිහිටෙනි. 

හුදු දේශපාලන ප්‍රචාරකවාදී ව්‍යාපෘති සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යොදාගත් හිටපු පාලකයින්ට අවනත නොවන පිරිස් ක්‍රීඩා පරිපාලනයෙන්ද නෙරපා හැරිණ. ඒ සඳහා ඔවුන් මුදාහැරි ක්‍රෑරත්වයේ තරම කොතරම්දැයි 2008 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිව සිටි ඔබතුමාද දන්නා බව අප නොදන්නවා නොවේ. 

එදා 2008 වසරේදී, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් මුදල් යහමින් ලැබෙන අයි. පී. එල්. තරගාවලියට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවට ඔබතුමා දැඩි තීරණ ගනිද්දී ක්‍රිකට් මුල් පුටුව ඔබතුමාට අහිමි වූයේ එම දේශපාලන ක්‍රෑරත්වය නිසා බව අපේ හැඟීමයි. 

වාසනාවකට යහපාලනය පදනම් කරගත් වත්මන් ආණ්ඩුව යටතේ එවැනි කටුක අත්දැකීමකට ඔබතුමා කිසිම දිනක මුහුණ නොදෙන බව අප අවංකව විශ්වාස කරන්නෙමු.

ගරු මැතිතුමනි,

ඔබතුමා ප්‍රමුඛ    ක්‍රිකට් විරුවන් එදා ගොඩනැඟූ ක්‍රිකට් ක්‍රීඩාව අද ගොදුරුව සිටින්නේ දැඩි ව්‍යවසනයකට වේ. සුපුරුදු පරිදි මෙවරත් ලෝක කුසලානය දිනා ගැනීමේ අවස්ථාව අපේ රටට අහිමි විය. දැනට පවතින තත්ත්වය මත ඉදිරියේදී, තව අවුරුදු 50කින්වත් අපේ රටට ලෝක කුසලානයක් දිනා ගැනීම අති දුෂ්කර වනු ඇත. 

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ටී. එම්. ඩිල්ෂාන් සමුගැනීමෙන් පසුව කණ්ඩායම මෙහෙය වීමේ වගකීම භාරගත හැකි දෙවැනි පෙළක්ද අප සතුව නැත. අන්තර් සමාජ මට්ටමේදී පමණක් නොව පාසල් මට්ටමේදීද ක්‍රිකට් ක්‍රීඩාවට අද ඇත්තේ අඩු ඉල්ලුමකි. ක්‍රීඩා ලෝලීහුද ක්‍රිකට් සංස්කෘතියෙන් ඈත් වෙමින් සිටිති. 

මෙවර ලෝක කුසලානය සහ අනුශූරතාව ඕස්ට්‍රේලියා – නවසීලන්ත කලාපයට හිමි වීමෙන් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආසියාව දිනා ගෙන සිටි ප්‍රමුඛත්වයද බටහිර ජාතීන් වෙත යළිත් හුවමාරු වෙමින් පවතී. අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වන්නේ පසුගිය වසරේ සිට ක්‍රියාත්මක අයි. සී. සී. නව යෝජනාවලට මුවා වී නවසීලන්තයද ඇතුළත් එංගලන්ත – ඕස්ට්‍රේලියා ක්‍රිකට් මාෆියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩි බලය දැනටමත් උදුරා ගෙන සිටීමයි.

වර්ෂ 1996දී ඔබතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම දිනා ගත්තේ ලෝක කුසලානය පමණක්ම නොවේ. එය බටහිර ජාතීන් වගා කළ ක්‍රිකට් ආධිපත්‍යයට එරෙහිව දියත් කළ සාමකාමී අරගලයේ විශිෂ්ටතම ජයග්‍රහණයයි. සමාජයේ සුපිරි ධනපන්තිය පමණක් තම භුක්තියට ලියා ගත් ක්‍රිකට් ක්‍රීඩාව පොදු ජන ක්‍රීඩාවක් බවට පත් කළ මහා විප්ලවයේ අග්‍රඵලයයි. 

ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුනරුදයටද එම ජයග්‍රහණය ආලෝකයක් විය. 96න් පසුව ආසියාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් පරිපාලනයේදීද අපේ රටට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. එහෙත් අවාසනාවකට පසුගිය කාලයේදී ඉන්දියාව සහ බටහිර රටවල් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් දැක්වූ නිවට ස්වරූපය හේතුවෙන් එම අද්විතීය ස්ථානය අහෝසි වී ගොස් ලෝක ක්‍රිකට් පරිපාලනයේදී අපේ රට තඹ සතයේ කාසියක් බවට පත් විය.

1996න් පසුව පොදු ජනතාවාදී ක්‍රිකට් සංස්කෘතිය අපේ රටේ ගොඩ නැඟුණේ අහම්බයකින් නොවේ. දැඩි අභියෝග මැද ඉතා අපහසුවෙන් ගොඩනඟා ගත් එම සංස්කෘතිය රැක ගැනීම වෙනුවට අපේ රටේ ක්‍රිකට් නිලධාරීන් දැන් කරනුයේ ලෝක ක්‍රිකට් මාෆියාව හමුවේ එකී සංස්කෘතිය අමු අමුවේ පාවා දීමයි. 

පොදු ජනතාව සඳහා ක්‍රිකට් නොව, මුදල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යන න්‍යාය මත කටයුතු කරමින් ලුම්පන් පන්තියේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමයි. 2011දී පමණක් නොව 2015දීද එනම් මේ වසරේදීද ලෝක කුසලානය දිනා ගැනීම සඳහා පැහැදිලි දැක්මක් හෝ සැලැස්මක් ඔවුනට නොවීය. 

ක්‍රිකට් තරගවල විකාශන අයිතිය පාලක පන්තියේ අවශ්‍යතා මත හැසිර වීම සහ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම වැනි දෙවැනි පන්තියේ ව්‍යපෘති මහත් වූ ඕනෑකමින් ඔවුහු ඉටු කළහ. දැන් යහපාලන ආණ්ඩුවේ අලුත්ම ක්‍රීඩාව වී ඇත්තේ අතුරු කමිටු හරහා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීමට උත්සාහ කිරීමයි. 

ඉතා පැහැදිලිවම අද ක්‍රිකට් ක්‍රීඩාව ගරා වැටී ඇත. නමුත් ජාතියේ වාසානාවට ක්‍රිකට් ක්‍රීඩාව තවමත් කඩා වැටී නැත. අප හමුවේ ඇති අභියෝගය වන්නේද ගරා වැටුණු මේ ක්‍රිකට් ක්‍රීඩාව, කඩා වැටීමට පෙර නැවත නඟා සිටුවීමයි.

ගරු මැතිතුමනි, ක්‍රකිට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය නැවත උදා කිරීම සඳහා දැන් අපට උදා වී ඇත්තේ ඓතිහාසික අවස්ථාවකි. ක්‍රිකට් ක්‍රීඩාව වැනසූ රාජපක්ෂ පාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. අප අත් විඳින්නේ යහපාලනය සහ සුපිළිපන්න බව පදනම් කර ගත් ආණ්ඩු පාලනයකි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයද පැවැත්වේ. 

අපේ අවංක හැඟීම වන්නේ විනාශ වී ගිය ක්‍රිකට් ක්‍රීඩාවේ යහපාලනය සහ සුපිළිපන්න බව නැවත ස්ථාපිත කිරීම සඳහා ඓතිහාසිකව හිමි වූ හොඳම අවස්ථාව උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත යුතු බවයි. එම අවස්ථාව මඟ නොහැර ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් කිරීම සඳහා පෙරමුණ ගන්නා ලෙස අපි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. 

යහපාලන ආණ්ඩුවේ අතුරු කමිටු ප්‍රතික්ෂේපක කර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නායකත්වය දෙන ලෙසටද අපි ඉල්ලා සිටිමු. අප මේ ඉල්ලීම සහ ආරාධනාව කරන්නේ ඔබතුමා මේ වන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුරයක් දැරීම නිසා නොවේ. අපේ රටට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දුන් එකම ක්‍රිකට් නායකයා වීම නිසාය. 

පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වීම නිසාය. මේ නිසා තවදුරටත් නිහඬව නොසිට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඓතිහාසිකව පැවරුණු වගකීම ඔබතුමා ඉතා ඕනෑකමින් ඉටු කරනු ඇතැයි අපි අපෙක්ෂා කරන්නෙමු. 

එම දැවැන්ත මෙහෙයුම සඳහා 96 ජයග්‍රාහී කණ්ඩායමේ සගයන්ද එක් කර ගන්නා ලෙස අපි ඔබතුමාට ආරාධනා කරන්නෙමු. ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසද අපි කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙයට – විශ්වාසි,
ජාතික නිදහස් ක්‍රීඩා පදනම
සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා
විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය
සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය
සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය
Share this article :